ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය

  ක්‍රි.ව.1985 දී ඉසුරුපුර ශ්‍රී ධර්මායතනය නමින් ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයෙහි නාමය වර්තමාන විහාරාධිපති ගරුකටයුතු දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේ ක්‍රි.ව.2008 දෙසැම්බර් මස 04 වන දින විහාරාධිපතිත්වයට පත්වීමත් සමගම මව් විහාරස්ථානයට කරන සැලකිල්ලක් ලෙස සලකා ඉසුරුපුර ශ්‍රී සුදර්ශනාරාම ධර්මායතන විහාරය ලෙස නම් කරන්නට වූ අතර විහාරස්ථානයෙහි පවත්නා දායක පවුල් සංඛ්‍යාවෙහි සුවිශාලත්වය හා විහාරස්ථානයෙන් සිදුවන සේවාවෙහි වටිනාකම මුල්කරගෙන ක්‍රි.ව. 2010 වසරේ නොවැම්බර් මස 04 වන දින පැවති කඨින මහා පිංකමට සමගාමිව මහා විහාරස්ථානයක් ලෙසින් එම නාමය ඉසුරුපුර ශ්‍රී සුදර්ශනාරාම ධර්මායතන මහා විහාරය නමින් සංශෝධනය කරන්නට විය.

  එම නාමයෙහි පවත්නා දීර්ඝත්වය මුල්කරගෙන 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙහි අතිගරු මහනායක අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥාණවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරය මත ශ්‍රී ලංකා ජනාධිපති ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ද ආශීර්වාදයෙන් ශ්‍රී ඉසුරුපුර මහා විහාරය නමින් විහාරස්ථානයෙහි නම කෙටි කොට වෙනස් කරන ලදී.මෙම ශ්‍රී ඉසුරුපුර මහා විහාරය නමින් විහාරස්ථානයෙහි නම වෙනස් කිරීමෙන් පසුව විහාරස්ථානයෙහි සංවර්ධන කටයුතු හා විහාරධිපති හිමිපාණන් වහන්සේට විශාල වශයෙන් අහිතකර නරක බලපෑම් ඇතිවන්නට විය. මේ පිළිබඳව තොරතුරු හොයා බැලූ විහාරාධිපති හිමිපාණන් වහන්සේට ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් විසින් දෙන ලද උපදෙස වූයේ නමෙහි ගණවල ගැටළුවක් පවතින බවය. ශ්‍රී ඉසුරුපුර යන වචන දෙක නොගැලපෙන වචන දෙකක් ලෙස ඔවුන් පෙන්වා දෙන ලද අතර ශ්‍රී යන්න මුලට නැතිව හෝ නැතිනම් ඉසුරුපුර යන්නට පසුව ශ්‍රී යන්න යෙදීම සුදුසු බව පෙන්වා දෙන ලදී. මේ පිළිබඳව කල්පනා කරන්නට යෙදුනු විහාරාධිපති පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේ විසින් විහාරාධිකාරී උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍යපාද දොඩම්ගොඩ නන්ද හිමියන්, උන්වහන්සේගේ සංසාරික කල්‍යාණ මිත්‍රයන් හා සහෝදරයන් වන හංසික සඳරුවන් හා ප්‍රදීප් ලක්මාල් රණසිංහ, කැපකරු දායිකාවන් වන අනෝමා වික්‍රමනායක මහත්මිය, චන්ද්‍රා කළුආරච්චි මහත්මිය, එම්.ඩි.දයාරත්න කපු මහතා යන පිරිස සමග වරින් වර ඒ පිළිබඳව සාකච්ඡා පවත්වන්නට වූහ.

  ඒ අනුව අවසානයෙහි විහාරාධිපති පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේගේ අදහස වූයේ ඉදිවෙන චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභ්‍යන්තරයෙහි සංඝරාජ මාහිමිපාණන්වහන්සේගේ චරිතකථාව මූර්තිමත් කරන හෙයින් එම චෛත්‍ය නම්කොට ඇත්තේ ශ්‍රී සංඝරාජ මහා සෑය යනුවෙන් නිසා එම නාමය විහාරස්ථානයෙහි නිල නාමය වශයෙන් පාවිච්චි කිරීමටය. විහාරස්ථානයක මුදුන් මල්කඩ වනුයේ චෛත්‍යරාජයාණන් වහන්සේ වන අතර ලොව ප්‍රථම සඟරජ මහාසෑය ලෙසින් මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ පවත්නා සුවිශේෂීභාවය ඉස්මතු කිරීමේ හා එම සුවිශේෂීභාවය දවසින් දවස වැඩි දියුණු කිරීමේ අදහසින් ශ්‍රී ඉසුරුපුර මහා විහාරය යන්න 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මුල්කරගෙන අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරයෙන් ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය නමින් නැවත සංශෝධනය කරන්නට වූහ. ඒ අනුව විහාරස්ථානය පූජ්‍යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමියන්ගේ විහාරාධිපතිත්වය යටතේ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය නමින් ක්‍රි.ව. 2011 මාර්තු මස 09 වන දින ආගමික කටයුතු අමාත්‍යංශයෙහි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කරන්නට වූ අතර එතැන් පටන් විහාරස්ථානයෙහි නිල නාමය බවට ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය යන්න පත්විය.