ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය

  මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය මව් විහාරස්ථානය කොටගෙන බිහි වූ විහාරස්ථානයකි, දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානය.එමෙන්ම දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය මව් විහාරස්ථානය කොටගෙන ආරම්භ කරන ලද විහාරස්ථානයකි, දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානය.2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය මුල්කරගෙන දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයෙහි ආරම්භය පිළිබඳව අනාගත පරපුරෙහි දැනගැනිම පිණිස ඓතිහාසික තොරතුරු මෙලෙස සම්පිණ්ඩනය කොට ඉදිරිපත් කිරීමට උත්සාහ දරන්නෙමු.
  වර්තමානයෙහි ඉතාමත්ම දියුණු නව නගරයක් ලෙස හඳුන්වන දොඩම්ගොඩ ගම්මානය අතීතයේදී ඉතාමත්ම නොදියුණු ගම්මානයකි. දොඩම්ගොඩ ගමෙහි මායිම් ලෙස ගංඉම හා මලබඩ ප්‍රධාන වූ අතර දොඩම්ගොඩ බටහිර හා නැගෙනහිර විහාර සීමාවන් බවට ඒවා පත්විය. මෙතරම් සුවිශාල බිම් කොටසකින් යුත් දොඩම්ගොඩ ප්‍රදේශයේ ආගමික කටයුතු සිදුකර ගැනීම පිණිස ක්‍රි.ව. 1800 මැද භාගය වනතුරුම විහාරස්ථානයක් නොතිබුණි. මෙම ගම්මානයේ සියළුම ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික සේවාවක්ම සිදුකරන ලද්දේ ද මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය මුල්කොටගෙනය. සෑම කටයුත්තකදීම මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයෙහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පා ගමනින් හෝ කරත්ත වලින් තම සේවාව ලබා දීමට දොඩම්ගොඩ ගම්මානයට බොහෝ අපහසුතා මධ්‍යයේ වැඩම කල අතර සුවිශාල ජාතික, ආගමික,සාමාජික, සංස්කෘතික සේවාවක් සිදු කරන ලදහ. මෙම මහත් අපහසුතාවයන් පිළිබඳව දොඩම්ගොඩ ගම්මානයෙහි ජිවත් වූ ගිහි ප්‍රභූ වරුන් කිහිපදෙනෙකු මලේගොඩ මහා විහාරස්ථානයෙහි වැඩ සිටි මහා සංඝරත්නය සමඟ විවිධ සාකච්ඡා පවත්වන්නට වූහ.එහි අවසාන ප්‍රතිඵලය වූයේ දොඩම්ගොඩ ගම්මානයෙහි පවත්නා දූවේගොඩැල්ල නමින් හඳුන්වන ලද ඉඩම් කොටස තුල විහාරස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කිරීමයි.
  එමෙන්ම මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපතිව එවකට වැඩ විසූ අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සුදස්සි මාහිමිපාණන් වහන්සේට ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේලා දෙනමකි.එනම් අතිපූජ්‍යපාද මාවනානේ ඉන්ද්‍රගුප්ත මාහිමිපාණන් වහන්සේ හා අතිපූජ්‍යපාද පරදූවේ ඉන්ද්‍රජෝති මාහිමිපාණන් වහන්සේය.මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සුදස්සි මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දූවේගොඩැල්ල නම් වූ ඉඩම් කොටස තුළ විහාරස්ථානය අරඹන ලද අතර එහි විහාරාධිපතිත්වය උන්වහන්සේගේ ශිෂ්‍ය, අතිපූජ්‍යපාද මාවනානේ ඉන්ද්‍රගුප්ත මාහිමිපාණන් වහන්සේට පවරන ලදී.එමෙන්ම එම නව විහාරස්ථානය නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමී වූ මූලිකයාණන් වන අතිපූජ්‍යපාද දොඩම්ගොඩ සුදස්සි මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමය මුල්කොටගෙන එම නව විහාරස්ථානය දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමය නමින් නම් කරන ලදී. මෙම විහාර පූජාව හෙවත් විහාරස්ථානයෙහි ආරම්භය ක්‍රි.ව.1855 අගෝස්තු මස 12 වන දින සිදු වූ බවට ඉතිහාසගතය.
  ඉන් අනතුරුව ක්‍රි.ව.1919 දී යලි අතිපුජ්‍යපාද මාවනානේ ඉන්ද්‍රගුප්ත මාහිමිපාණන් වහන්සේ විසින් තම පැවිදි සහෝදර අතිපූජ්‍යපාද පරදූවේ ඉන්ද්‍රජෝති මාහිමිපාණන් වහන්සේගේ දක්ෂතාවයන් ගැන සතුටුව මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති පදවිය උන්වහන්සේට පවරන ලද බව ද විහාර පරම්පරා කථාවේ සඳහන්ය. ඉන් අනතුරුව අතිපූජ්‍යපාද මාවනානේ ඉන්ද්‍රගුප්ත මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය අතිපූජ්‍යපාද මාවනානේ දේවානන්ද මාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවියට පත් වූ අතර ඉන් පසුව මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති පදවියට වර්තමාන විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රගුප්ත සද්ධර්මවාගීස්වර අතිපූජ්‍යපාද දොඩම්ගොඩ ඉන්දසර නාහිමිපාණන් වහන්සේ පත්වූහ.
  උන්වහන්සේ දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයෙහි පැවති බොහෝ අඩුපාඩු විහාරාංග සකස් කරමින් එම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරයක් බවට ද පත් කරන ලදී.එමෙන්ම විහාරස්ථානය සතු විහාර සීමාව සුවිශාල වූවකි.මෙම සුවිශාලත්වය නිසාවෙන් බොහෝ දායක පින්වතුන්ට ඉතාමත් අපහසුතා මැද ඉතා දුරබැහැර සිට ආගමික සහනය බලාපොරොත්තුවෙන් දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානය කරා එන්නට සිදු විය.මෙම තත්වය පිළිබඳව දොඩම්ගොඩ කළුවාඋඩුමුල්ල, රුවන්මග, ගංඉම යන ප්‍රදේශ වල වාසය කල පින්වතුන් විහාරාධිපති අතිපූජ්‍යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේව දැනුවත් කරන ලදී.උන්වහන්සේ මෙම ඉල්ලීම පිළිබඳව තම සිත යොමු කළ අතර දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයෙහි එවකට දායක සභාවෙහි සභාපති වර්තමාන වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මැතිතුමාගේ ආදරබර පියාණන් වූ දිවංගත වේලින් කොතලාවල මැතිතුමා ප්‍රධාන දායක සභාවෙහි පින්වතුන්ගේ සහයෝගයෙන්, දොඩම්ගොඩ 800 එෆ් බටහිර වයඹ ග්‍රාමසේවා කොට්ඨාෂයෙහි පිහිටි පිළිමිනා වතුයායෙහි නව විහාරස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කරන ලදී.ඒ වන විට මෙම පිළිමිනා වතුයාය කට්ටි කොට විකිණීමට කටයුතු යොදා තිබුණි. මෙලෙස දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයෙහි පවත්නා විහාර සීමාවෙහි සුවිශාලත්වය මත විහාර සීමාවෙහි බටහිර කෙළවරෙහි පදිංචි දායක පින්වතුන්ගේ ඉල්ලීම මත ඉසුරුපුර ශ්‍රී ධර්මායතන විහාරය නමින් කටුමැටි බිත්ති වලින් යුතු පුංචි ආවසයකින් ඉතා පුංචි ඉඩ කොටසක මෙම නව විහාරස්ථානය ක්‍රි.ව.1985 නොහොත් ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2529 දී ආරම්භ කරන ලදී.පසුව ඉඩම් කට්ටි තුනක් මිලට ගෙන විහාරස්ථානය සතු ඉඩම් කොටස පුළුල් කළ අතර අතිපූජ්‍යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ සුජීවත්ව සිටියදීම උන්වහන්සේගේ ප්‍රියාදර ශිෂ්‍ය දොඩම්ගොඩ සුමේධ හිමියන්ට ක්‍රි.ව.2008 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා දින විහාරස්ථානය සතු සියළු දේපල වල අයිතිය සමගින් විහාරාධිපති පදවිය පිරිනමන්නට වූහ. ඉන්පසුව 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මුල්කරගෙන ක්‍රි.ව.2011 දී එහි විහාරස්ථානයෙහි නාමය විහාරාධිපති දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරය නමින් වෙනස් කරන ලදී.